Wednesday, February 15, 2012

ඔබ වෙරොනික් වගේ නම් අජිත් තිලකසේන ඔබට උදව් කරනු ඇත




අධ්‍යාපනය යනු අපට මගහැරුනු දෙය අනවරතව සොයා යාමයි
                                                                  - අයින්ස්ටයින් -

අජිත් තිලකසේනගේ සාහිත්‍යය පිළිබඳව විචාර ලියවී ඇත්තේ ඉතා අඩුවෙනි. සමහර විචාරකයන් විසින් ලෝකයේ බිහිවූ දක්‍ෂතම කෙටිකතාකරුවා ලෙස හඳුන්වනු ලැබුවත් අජිත් තිලකසේනගේ කෘති පිළිබඳව වැඩිපුර කථා නොකර සිටීමට ලංකාවේ විචාරකයන් පරෙස්සම් වී ඇත​. මෙයට හේතුව අජිත්ගේම ප්‍රකාශයකින් සරලව වටහාගත හැකිය​. ඔහු පවසන්නේ "මට කියන්න දෙයක් නැහැ. මට තියෙන්නෙ කියන විධියක් විතරයි" යනුවෙනි. මේ අනුව අජිත්ගේ සාහිත්‍යයට අන්තර්ගතයක් නොමැති අතර ඇත්තේ ආකෘතියක් පමනි. පැරනි විචාර න්‍යායන්ට අනුව කලා ක​ෘතියක අවසාන අර්ථය දන්නේ නිර්මානකරුවාය​. ක​ෘතියේ අන්තර්ගතයක් නැතැයි කතුවරයාම පවසන විට විචාරයක් කරන්නට දෙයක් නැතැයි සිතීම තාර්කික වේ. එහෙත් කතුවරයා යනු ක​ෘතියකට සම්බන්ධ වන එක් පුද්ගලයකු පමනක් බවත් ඔහුගේ කැමැත්තෙන් ස්වායත්තව ක​ෘතියක් අර්ථකථනය කළ හැකි බවත් අප දැන් දන්නා නිසා අජිත්ගේ සාහිත්‍යය පිළිබඳව විචාරයක් කිරීම කළ නොහැක්කක්ම විය නොහැකිය​.

පාසැල් යන වයසේදී ලංකාවේ ජනප්‍රිය ලේඛකයන්ගේ සාහිත්‍ය ක​ෘති කියවීමට මම පුරුදු වී සිටියෙමි. අජිත්ගේ නමද මේ ජනප්‍රිය ලයිස්තුව තුළ වූ බැවින් ඔහුගේ කෙටිකතාද කියවීමට උත්සාහ කළෙමි. එහෙත් කිසිදු නිශ්චිත චරිතයක් හෝ අර්ථවත් සිදුවීමක් නොමැති ඔහුගේ කථා කියවීමෙන් මට ලැබුනේ වමනය බඳු අප්‍රසන්න අත්දැකීමක් පමනි. අජිත් තිලකසේන යනු පිස්සකු යයි නිගමනය කොට ඔහු කියවීමට ගත් උත්සාහය අත්හළෙමි. එහෙත් කළකට පසුව​, වෙනත් ලේඛකයන්ගේ ක​ෘති යම් ප්‍රමානයක් කියවා තිබූ මම අජිත්ගේ සාහිත්‍යය පරිශීලනය කිරීමට නැවත උත්සාහයක් ගත්තෙමි. මෙවරද අර්ථයක් සම්පාදනය කරගැනීම පහසු නොවූ නමුත් පෙර ඇතිවූ අපුල වෙනුවට වේදනාබර ත​ෘප්තියකින් යුතුව ඔහුගේ ක​ෘති කියවාගෙන යා හැකි බව වැටහිනි.



අජිත්ගේ සාහිත්‍යය පිළිබඳ එක් හැඳින්වීමක් වන්නේ ඔහුගේ කෙටිකතා මිනිස් සබඳතා තුළ ඇති ෛනසර්ගික මුග්ධභාවය පිළිබිඹු කරන බවයි. මේ අනුව භාවිත ලෝකය තුළ ක්‍රියාත්මක වන මිනිස් සබඳතා කොහොමත් අර්ථවිරහිත වන බැවින් සාහිත්‍යය තුළ පමනක් අර්ථය ස්ථාපනය කරන්නට යාම අනවශ්‍යය​. මෙම හැඳින්වීමෙහි ඇති මූලික වරදක් ලෙස මා දකින්නේ කිසිවකට අර්ථයක් නිසගව ලැබෙන්නේ නැතිබව අමතක කිරීමයි. මිනිස් සබඳතා හෝ වෙනත් ඕනෑම දෙයකට එය තුළින්ම පිළිපන් අර්ථයක් නොමැති අතර එයට අර්ථයක් ලබාදීම අප විසින් කළ යුතු වේ. ලබාදෙන අර්ථය කොතරම් දියුණුද යන්න අර්ථ සම්පාදකයා මත තීරණය වේ. එය බොහෝ දුරට ඔහුගේ / ඇයගේ දැනුම සහ අත්දැකීම් මත රඳා පවතින්නේ යයි සිතමි. උදාහරණයක් ලෙස ලෙනාඩ් වුල්ෆ් "බැද්දේගම​" නවකතාවේදීත් සයිමන් නවගත්තේගම ඔහුගේ බොහෝ ක​ෘති වලදීත් ස්වභාව ධර්මයේ සංසිද්ධීන් වලට ගැඹුරු අර්ථකථන ලබාදී ඇත​. මෙම ක​ෘතීන් පරිශීලනය කර ඇත්තෙක් එසේ නොකළ කෙනෙකුට වඩා අර්ථ සම්පාදන ක්‍රියාවලියේදී වඩාත් පොහොසත් සංකල්ප පද්ධතියක හිමිකරුවෙක් වේ. ප්‍රශ්නය වන්නේ අජිත් තිලකසේනගේ සාහිත්‍යය එහි පරිශීලකයාට මේ ආකාරයේ නව දැනුමක් ලබා දෙන්නේද යන්නයි. මෙය විමසීම සඳහා 1962 දී ඔහු විසින් ලියන ලද "කනපිට​" නම් කෙටිකතාවේ මුල් කොටස කියවමු.

මගේ ඇතුල එහෙම පිටින්ම දොට්ට ඇද දාන්න ඔවුහු වලිකන්නට වූහ​. ඔවුහු - ලීලුත් සෝමොත්.
'ශෙහ්, ශෙහ්' ලීල් කීය​. 'ශෙකේ ශෙහ්'
'මොකද ශෙහ්?' සෝමො ඇසීය​.
කානුව අද්දරින්ම ගෑනු ඇන බාගත්හ​. කඩචෝරු කකා ඔවුහු සතපහේ කෑලි බිම අතඅරින්නට වූහ​.
'ශෙහ්' ලීල් කීය​. 'මල යක්කු උං. යක්කු. හරිම තිරිසන්නු'
'මුංද​?' ලීල් ඇසීය​. 'මුං ගැන නෙවෙයි මං කිවුවෙ. අරුං. අරුං වීරෙලා. මුං? මුං ගොන්නු. මැස්සන්ට සල්ලි දානව​'
'ඒ?'
'පහේ කෑලි බිම දාල බලාගන ඉන්නව​. ඉස්සෙල්ලම මැස්සෙක් වහපු සතපහ අයිති එකීට ඒ සල්ලි ඔක්කොම​.'
අපි බලාගන​. මැස්සො කැරකෙති කැරකෙති කැරකෙති, වටේට වටේට වටේට​.
'සිසී හොඳ කෙල්ල අපිට​ බැරි වුනාට​' සෝමො කීය​.
'ශෙකේ' ලීල් කීය​. 'ටැක්සියකිං ගෙනිච්චෙ අරුං වීරෙලා. පස්සෙ සීට් එකේ. ටැක්සියකිං'
'මෙන්න මූ හිංදයි මුකුත් බැරි' සෝමො මා දිහාට ඇගිල්ල දික් කළේය​. 'මූ'.
සෝමොත් ලීලුත් මට කඩා පැන්නහ​. 'කියහං ඩෝ' සෝමො කීය​.
'හොඳමයි රජෝ' ලීල් කීය​.
මට හීනෙන් රෑ එලිවෙන යාමෙදී ඝන කලුවරක් විනිවිදින මිරිකපු තරුවක් වැනි පුංචි එලියක් ඈතින් පෙනෙයි. මම කිට්ටු වී බලමි. එලිය එක්කම යටින් සුදුවට දිලිහෙන කඳක් පෙනෙයි. මම තවතවත් කිට්ටු වී ඒක පහන් කනුවක් බව දැකගනිමි. පහන් කනුව වටේට අඩි දොලහක පමන අරයකින් යුත් ව​ෘත්තාකාර ප්‍රදේශයක් සුදට එලිය වී ඇත​. මම කලුවර ගැට්ටේ හිටගන සුදු එලිය දිහාත් පහන් කනුව දිහාත් බලමි. පහන් කනුවේ ආලම්බනයට අසුවී මා ව​ෘත්තය ඇතුලට ඇදගනු ලැබෙයි. මගේ ඇග කිලිපොලාගෙන යයි. මහත් නොඉවසිල්ලකින් යුතුව මම පහන් කනුවට අත තබමි. එතකොටම මට ශුක්‍ර විමෝචනයක් ඇතිවෙයි.......හැබැයි හොඳේ, ඊට පස්සෙ මට හොඳට නින්ද යන එක​.
'අන්න ගුනසෝමෙයා' ලීල් කීය​. 'කාලකන්නියා. අව්වක් පින්නක් නෑ. තැනක් නොතැනක් නෑ. ඕන් දිහාක්. වෙලාවක් අවේලාවක් නෑ.'
කලිසම් කොටයක් ගහගෙන පියරු බබා වගේ උන් ගුනසෝමෙයා දිහා බලාගෙන අපි දක්කූරු හප හපා තොල් මතුරන්නට වීමු. 'කුපාඩියා.' 'අවලමා.' 'වලත්තෙයා.' 'කශඩෙයා.' 'පසික්කාට්ටුවා.' 'ගෑනු බාලෙයා.'
ගෑනුත් ඔහු දිහා බලාගෙන පුපුර පුපුරා නැගිටගත්හ​.
'වැහැපි නං' මම කීවෙමි.
සෝමො කීය​: 'වැස්සයි කියල ඇති වැඩේ? හුජ්ජබර හැදෙන එක විතරයි'



අපගේ ෛදනික ජීවිතය සාමාන්‍යයෙන් ඒකාකාරීය​. මෙම ඒකාකාරීත්වය සාර්ව ෙභ​ෟමික සත්‍යයක් ලෙස වටහාගැනීමට සිදුවුවහොත් එය ජනිත කරවනු ඇත්තේ කාංසාවකි. එයින් මිදීමට සාමාන්‍යයෙන් අප බොහෝදෙනෙකු කරන්නේ අප නොවිඳින සුවිශාල සතුටක් භුක්ති විඳින අනෙකකු ෆැන්ටසිකරනය කිරීමයි. කාර්‍යාල සහ බස්‍ රථ වැනි බොහෝ තැන්වල කියවෙන කටකතා වලදී විෂය වන්නේ මෙලෙස අනෙකකු විසින් විඳින අපරිමිත​, රහස් සතුටයි. ඉහත කෙටිකතාව තුළ ලීල් සහ සෝමොට අනුව ඔවුන්ට අහිමි සතුටක් වීරෙලා විඳිති. ඒ සිසී නැමැති තරුනිය ටැක්සියක දාගෙන යාමෙනි. ලීල්ට සහ සෝමොට එම සතුට විඳීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ දුර්වලතාවයක් නිසා නොවේ. ඒ ගැන ඔවුන් ඇගිල්ල දිගු කරන්නේ කතානායකයා දෙසටය​. වීරෙලා විඳින සතුට ෆැන්ටසිකරනය කිරීමෙන් ඔවුන් තමන්ගේ කාංසාව මගහරවා ගන්නා අතර තම නොහැකියාව පිළිබඳ වරදකාරීත්වය කතානායාකයාට පවරා එයින්ද ගැලවේ. මේ අතර ලෝකයේ ඇති සියලු නරක නියෝජනය කරමින් සියල්ලන්ගේ කෝපය මුදාහැරීමට හැකි බූරුහමක් ලෙස ගුනසෝමෙයාද සිටියි. දැන් ඔබට මේ කතාව තුළ යම් සමීප බවක් වැටහෙනවාද​? අජිත් තිලකසේනට කියන විදියක් පමනක් නොව කියන්න දෙයකුත් තිබුනා වත්ද​?

එහෙත් අපගේ ලේඛකයා කථාව තුළ ගැහැනුන්ගේ සත පහේ කෑලි දැමිල්ල සහ පහන් කනුව පිළිබඳ කතානායකයාගේ සිහිනමය විග්‍රහය වැනි අභූත කොටස්ද බහාලයි. ක​ෘතිය අපගේ චින්තන රාමුවට සවිකර ගැනීමට ඔහු ලෙහෙසියෙන් ඉඩ නොදෙයි. ඔහුගේ ක​ෘතීන් කියවන විට ලැබෙන ත​ෘප්තිය වේදනාබර එකක් වන්නේ ඇය්දැයි මට දැන් යම් පමනකට වැටහේ. වෙනත් ක​ෘතීන් සහ විචාර පරිශීලනයෙන් මා ගොඩනගාගත් අර්ථ ලෝකය අජිත්ගේ සාහිත්‍යය ඉදිරියේ අභියෝගයට ලක්වේ. මගේ සංකල්ප පද්ධතිය තනාගැනීමේදී යමක් මගහැරී ඇති බවට ඉගියක් මට ලැබේ. මේ සඳහා මගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද​?

ලිපිය ආරම්භයේදී සඳහන් කළ අයින්ස්ටයින්ගේ ප්‍රකාශය ඉතා සීරුවෙන් වටහාගත යුතු ගැඹුරු අදහසක් බව මම කල්පනා කරමි. මගේම අත්දැකීමක් ඇසුරෙන් මෙය පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. මගේ ව​ෘත්තීය ජීවිතය තුළ අනෙක් අය සමග කරන සංවාද වලදී සමහර අවස්ථාවල මට අවබෝධ වන්නේ යම් කරුනු පිළිබඳ මගේ වැටහීම සාවද්‍ය බවය​. විශ්ව විද්‍යාලයේදී උගත් පැරනි පාඩම් පුනරීක්‍ෂනය කළවිට සමහර මූලධර්ම මගේ ව​ෘත්තීය ජීවිතයට පිවිසීමෙන් පසු මගහැරී ගොස් ඇතිබව පසක් වේ. මේ අනුව බොහෝ කාලයක් මා කටයුතු කර ඇත්තේ සමහර මූලධර්ම අමතක කරමිනි. ගැටලුව වන්නේ එම මූලධර්ම මගහැරුනේ නැතිනම් මට දැන් සිටිනවාට වඩා හොඳ ව​ෘත්තිකයකු වීමට ඉඩ තිබිනිද යන්නයි. මේ සඳහා මගේ පිළිතුර "නැත​" වන අතර එය පැහැදිලි කිරීම සඳහා "මගේ ලෝකය​" ක​ෘතිය තුළ නලින් ද සිල්වා විසින් සංකල්පය සහ සංජානනය අතර සාම්‍යය පෙන්වා දීමට යොදාගන්නා ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් පහත යොදා ගනිමි.

වාස්තවික ලෝකයක් සැබවින්ම පවතින්නේද නොඑසේනම් පවතින්නේ ඉනද්‍රියයන් හරහා ලැබෙන සංවේදන (සංජානනය​) පමනක්ද යන දාර්ශනික ගැටලුව පසෙකින් තබමු. බොහෝ දෙනාට එකග විය හැකි කරුනක් වන්නේ සංවේදනවලට අර්ථයක් අප විසින් ලබාදිය යුතු බවය​. මෙම ක්‍රියාවලියේදී අර්ථ සහිත ලෝකයක් බිහිවේ. මෙම අරුත්බර ලෝකය මිනිසකුට සංස්ක​ෘතික ජීවියකු ලෙස සමාජයට පිවිසීමට එක් පසෙකින් දොරටු විවර කරයි. තවත් පසෙකින් එය මගහැරුනු යමක් පිළිබඳ අනිවාර්‍ය අතීත වේදනාවද ජනනය කරයි. මගේ තර්කය වන්නේ මෙම මගහැරුනු දෙය යනු අරුත්බර ලෝකය ගොඩනැගීමේ ක්‍රියාවලියට පෙර පැවති යමක් නොවන බවයි. එය අර්ථ සහිත ලෝකයේම ව්‍යුත්පන්නයකි. මගේ පුද්ගලික උදාහරනයට නැවත යන්නේ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ මා බොහෝ දේ උගත් අතර ඒ සියල්ල ව​ෘත්තීය ජීවිතයේදී ප්‍රයෝජනවත් නොවීය​. ප්‍රයෝජනවත් වූයේ කුමක්දැයි වටහා ගන්නේ ව​ෘත්තීය අත්දැකීම් වලින් පසුවය​. මෙය තවත් සංකීර්න වන්නේ විශ්ව විද්‍යාලය තුළ උගත් දේ වලට මා දැන් දෙන අර්ථකථන මගේ ව​ෘත්තීය අත්දැකීම් හරහා ගොඩනැගුනු අර්ථ ලෝකයෙන් පැමිනීමය​. එම අර්ථකථන විශ්ව විද්‍යාල අවධිය තුළදී සිදුකිරීම කළ නොහැක්කකි. එමෙන්ම මට මගහැරුනු මූලධර්ම ලෙස මා දැන් හඳුනාගන්නා දේ මගහැරිය හැකි දේවල් ලෙස විශ්ව විද්‍යාල අවධිය තුළදීම පුරෝකථනය කිරීමද කළ නොහැක්කකි. කාලයට සාපේක්‍ෂ අර්ථයක් ලබාදීම භව්‍ය වන්නේ නිරපේක්‍ෂ කාලය පිළිබඳ නිව්ටෝනියානු අර්ථ ලෝකය තුළ යම් දුරක් ගමන් කිරීමෙන් පසුව පමනි. මගහැරුනු දෙය යනු මගහැරීම සිදුකළ ක්‍රියාවලියේ අවසන් ඵලයකි.



මගහැරුනු දෙය පිළිබඳ අදහස විසින් අපගේ අර්ථ ලෝකයට සිදුකරන සම්ප්‍රධානය කුමක්දැයි දැන් විමසා බලමු. මේ සඳහා නැවතත් මගේ උදාහරනයට යාම ප්‍රයෝජනවත් වනු ඇත​. මට සමහර මූලධර්ම මගහැරී ඇති බව වටහාගැනීමෙන් පසු මා එම න්‍යායන් නැවත හදාරන්නේ යයි සිතමු. මෙය මගහැරුනු දෙය පිළිබඳ අවබෝධයට මා විසින් දක්වන ප්‍රතිචාරය ලෙස නම් කළ හැක​. මෙම අධ්‍යාපනයෙන් පසුව මගේ නව අර්ථ ලෝකය යනු කුමක්ද​? මගේ පැරණි අර්ථ ලෝකයේත් අලුත් දැනුමේත් වීජීය එකතුවද​? නැවතත් මගේ පිළිතුර වන්නේ "නැත​" යන්නයි. නව දැනුම විසින් මගේ පැරණි අර්ථ ලෝකය නැවත ආක​ෘතිගත කරන අතර දැනුමෙහි මීලග තලය වෙත මා ඔසවා තබයි. අර්ථ සහිත ලෝකයේ ඉදිරි ගමන ලෙස මා වටහාගන්නේ මෙයයි. මෙහිදී තීරනාත්මක සාධකය නම් මට මගහැරුනු දෙය පිළිබඳ ඉගියක් සපයන මගේ අනෙකා වන්නේ කවුරුන්ද යන්නයි. මෙම අනෙකාගේ භූමිකාව ක්‍රියාත්මක නොවුවහොත් ස්වයං පරාවර්තිත අර්ථ ලෝකයක සිරවීමට මට සිදුවේ.

අජිත් තිලකසේනගේ සාහිත්‍යය මෙම අනෙකාගේ භූමිකාව සමග පෑහෙන බව මම යෝජනා කරමි. එය වැඩි දුරට සපථ කිරීමට වෙනත් තැනකින් උදාහරනයක් ගනිමු. නිමිත්ත වන්නේ Krzysztof Kieslowski ගේ The Double Life of Veronique චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන්නේ වෙරෝනිකා සහ වෙරොනික් නම් තරුණියන් දෙදෙනෙකි. දෙදෙනාම සම වයෙසේ වන අතර චරිත දෙකම නිරූපනය කරන්නේ එකම නිලියකි. වෙරෝනිකා පෝලන්තයේද වෙරොනික් ප්‍රංශයේද ජීවත් වෙති. දෙදෙනාටම දක්‍ෂ ලෙස ගීත ගායනා කිරීමේ හැකියාව ඇත​. ඔවුන් එකිනෙකා පිළිබඳව දැන සිටීමට චිත්‍රපටය විසින් කිසිදු ෙභ​ෟතික සාධකයක් ඉදිරිපත් නොකරන නමුත් දෙදෙනාම එකිනෙකා පිළිබඳව අද්භූත ආකාරයකින් අපැහැදිලි ලෙස දැන සිටිති. එහෙත් පුද්ගල චරිත ලෙස ඔවුන් දෙදෙනා එකිනෙකාට අතිශයින් වෙනස් ය​. වෙරෝනිකා ඉතා සැහැල්ලු ජීවිතයක් ගත කරන අතර ජීවිතයේ සෑම මොහොතක්ම සීමා බන්ධන වලින් තොරව වින්දනය කරයි. ඇය පිරිමියකුට ආදරය කරන විට සිය ආත්මයම ඔහු වෙනුවෙන් පුද දෙයි. ලිංගික සබඳතා වලින් උපරිම ලෙස විනෝදය ලබයි. ගීත ගායනා කරන විට ඇය තම සියලුම හැකියාවන් ඒ වෙනුවෙන් යොදවයි. මේ නිසාම ඇය ගී ගයන අතර ඇතිවන හ​ෘදය රෝගයකින් ක්‍ෂනිකව මියයයි.

ඉන්පසුව දිගහැරෙන්නේ ප්‍රංශ ජාතික වෙරොනික්ගේ කතාවය​. ඇය ඉතා දියුනු සංස්ක​ෘතික ස්ත්‍රියකි. වෙරෝනිකාගේ මරනය පිළිබඳව අද්භූත ලෙස දැනගන්නා ඇය ගීත ගායනය තමාට අන්තරාදායක බව වටහාගෙන එය නවතා දමා සංගීත ගුරුවරියක ලෙස ව​ෘත්තීය ගමන අරඹයි. ඇය පිරිමින් සමග සෑමවිටම යම් ආරක්‍ෂිත පරතරයක් පවත්වා ගන්නා අතර ලිංගික සබඳතා වලදී විපිලිසර වෙයි. ඇය යම් අතීත වේදනාවකින් පෙළෙන බව චිත්‍රපටය පෙන්වයි. ක​ෘතියේ නමට අනුව මෙය "වෙරොනික්ගේ ද්වි-ජීවිතය​" වන බැවින් වෙරෝනිකා යනු වෙරොනික් තම ආරක්‍ෂාකාරී ජීවිතය තුළ තමාට මගහැරුනු කොටස (ජීවිතයේ රැඩිකල් අර්ධය​) ලෙස වටහා ගන්නා දෙයයි. මේ අතර වෙරොනික් තමාට මුනගැසෙන රූකඩ නටවන්නකු සමග ප්‍රේමයක් ඇතිකර ගනී. වෙරොනික්ගේ ජීවිතයට ක්‍රමයෙන් සමීප වන රූකඩ නටවන්නා ඇයගේ කැමරාවේ පින්තූර තුළ එක් රූපයක සිටින වෙරොනික්ට ඉතා සමාන තරුණියක පෙන්වයි. මෙය වෙරොනික් ඇගේ පෝලන්ත සංචාරයකදී ගත් පින්තූරයක් වන අතර අහම්බෙන් එහි වෙරෝනිකා සටහන්ව සිටියි. දක්‍ෂ කතාකාරයකු වන රූකඩ නටවන්නා මෙම  සිදුවීමෙන් පසු වෙරෝනිකා පිළිබඳ ප්‍රබන්ධය වඩාත් සංගත ලෙස ගොඩනගා ගැනීමට වෙරොනික්ට උදව් කරයි. ඔහු ඉතා දක්‍ෂ ලෙස වෙරොනික්ට තම අර්ථ ලෝකයේදී මගහැරුනු දෙය ස්ථානගත කර ගැනීමට පිටුබල දෙන අනෙකා බවට​ පත්වෙයි. මෙම වටහාගැනීමට පසුවද වෙරොනික් වෙරෝනිකා බවට පත්වීමට උත්සාහ කරන බවක් චිත්‍රපටය නොපෙන්වයි. ඇයට තම සංවිධිත ජීවිතය දිශානත කර ගැනීමට වෙරෝනිකා මග සලකුනක් ලෙස ආධාර වන බව සිතිය හැක​. අනාගතය ඇත්තේ වෙරෝනිකාට නොව වෙරොනික්ටය​. (රටවල් වශයෙන් සැලකුවද අනාගතයක් තිබුනේ පෝලන්තයට නොව ප්‍රංශයටය​).



දැන් මා ඔබට යෝජනා කරන්නේ ඉහත රූකඩ නටවන්නාගේ භූමිකාව සමග අජිත් තිලකසේන සංසන්දනය කරන ලෙසය​. කාල වේලාව තිබේ නම් ඉහත චිත්‍රපටය සහ අජිත්ගේ සාහිත්‍යය පරිශීලනය කරන ලෙසටද ඔබට ඇරයුම් කරමි. මගේ නම් ඍජු නිගමනය වන්නේ අජිත් යනු ඉහත රූකඩ නටවන්නාම වන බවයි. වෙරොනික්ට වෙරෝනිකා පිළිබඳව බොඳවූ සිතුවමකට සමාන වැටහීමක් මුල සිටම තිබුනද එය පැහැදිලිව ආඛ්‍යානගත කිරීමට ආධාර වන්නේ රූකඩකරුවාය​. එය සිදු කිරීමට පෙර ඔහු තමා සිටින තැන හඳුනා ගැනීමට උපකාර වන හඩපටයක් වෙරොනික් වෙත යවයි. මෙම හඩපටය විකාරරූපී එකක් වන නමුත් එය ආධාරයෙන් ඔහු සිටින අවන්හල සොයාගැනීමට වෙරොනික් සමත් වෙයි. අජිත්ගේ සාහිත්‍යය තුළ ඇති බොහෝ රූපකයන්ද මෙම හඩපටයට​ සමාන යයි මම සිතමි. තාර්කික බුද්ධිමය ලෝකයට පිවිසෙන විට අප විසින් ප්‍රත්‍යක්‍ෂයන් (obvious [axiom නොවේ]) ලෙස සලකා මගහළ කරුනු ඔහු නැවත පරීක්‍ෂාවට ලක් කරයි. දැනුමේ ඉතා මූලික තල වලට ගොස් ඉතා සුළු වෙනසක් සිදු කළවිට පවා එය මහේක්‍ෂ තලය තුළ විකාරසහගත ලෙස දිස්වන බව ඔහු චිත්‍රනය කරයි. බොහෝ සාහිත්‍ය ක​ෘතීන් හැගීම් සමග බද්ධ වනවිට අජිත්ගේ සාහිත්‍යය දැනුම වෙත දිශානත වන්නේ යයි මම යෝජනා කරමි. තම සාහිත්‍යයට අන්තර්ගතයක් නොමැති බවට ඔහු කරන ප්‍රකාශය සමගද මට එකග විය නොහැක​.

කලා ක​ෘතියක් වටහාගැනීම යනුවෙන් දෙයක් මම විශ්වාස නොකරමි. වටහාගැනීම යන්නෙන් ක​ෘතියකට අවසාන අර්ථයක් ඇතැයි හැගවේ. ඇසිය යුතු ප්‍රශ්නය නම් ක​ෘතියක් අර්ථකථනය කළ හැකිද යන්නය​. අජිත්ගේ සාහිත්‍යය සම්බන්ධ අභියෝගය වන්නේ එය අර්ථකථනය කිරීමට නම් පොහොසත් අර්ථ ලෝකයක් අවශ්‍ය වීමයි. මෙම අදහස පහත වැකි දෙක බවට සාරාංශගත කළ හැක​.

ඔබ වෙරොනික් වැනි දියුනු සංස්ක​ෘතික මනුෂ්‍යයකු නම් අජිත් තිලකසේන ඔබගේ සිතීම දිශානත කරන එක් ප්‍රදීපාගාරයක් විය හැක​. ඔබ උපේක්‍ෂා ස්වර්ණමාලි හෝ රන්ජන් රාමනායක වගේ නම් ඉතින් කරන්න දෙයක් නැත​.

[දෙකක් හැරුනු විට ලිපිය තුළ අඩංගු වන රූප සියල්ල අජිත්ගේ "මල් වැනි ගල්" නමැති ක​ෘතියෙහි අඩංගු වන සංයුක්ත කවි වේ.]